Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

Tuesday, May 25, 2010

කිරි ඉතිරවීම හා පත්තිනි කතාන්දරය

මෙය ජනප්‍රවාදයේ එන කතාවකි.


පත්තිනි දේවිය හා පාළඟ කුමරු යන දෙදෙනා එකල බොහෝ ආදරයෙන් ජීවත් වූ දෙදෙනෙකි. එකල රජකම් කල පඬි රජ විසින් සළඹක් සොරා ගත්තායැයි කියමින් පාළඟ කුමරු මරා දමනු ලැබීය. මේ වියෝවෙන් වියරු වැටුනු පත්තිනි දේවිය ගෝපුර පිහිටි රජ මාලිගාව ඉදිරියේ සිට රජුන්ට පළි ගසන්නට විය. මෙයින් උදහස් වුනු රජ "තීට තොගේ තන කවමි" යැයි කියමින් තර්ජනය කරන්නට විය. සිහි විකල්ව සිටි පත්තිනි දේවිය තම වම් තනය කඩා රජුටත් රටටත් ශාප කරන්නට විය. මේ ශාපය හමුවේ මුළු මාලිගාවම ගිනි ගෙන දැවෙන්නට විය. රටටද ගින්න පැතිරුනයෙන් එරට වැසියෝ එක්ව දෙනුන්ගෙන් කිරි දොවා හිරු දෙවියන්ගේ නාමට කිරි ඉතිරිවීය. හිරි දෙවියන් ඉතා බලවත් වූයෙන් එම ගින්නෙන් මදුරා පුරය බේරාගත් බව ජනප්‍රවාදයේ කියැවේ. මෙලෙස හිරු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම ආරම්භ වූවායයි ජනප්‍රවාදයේ සඳහන් වේ.


කෙසේ නමුත් මහා ව්‍යසනකින් ආරක්ෂාවීමට මේ කිරි ඉතිරවීම කරන්නට ඇත. අදටත් මිනිස්සු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම යම් යම් ව්‍යසන හමුවේදී කිදු කරන බව ප්‍රකට කරුණකි.

පිංතූරය





Sunday, April 25, 2010

බිඟුලන්තය - කැලය

බිඟුලන්තයේ එක් පැත්තකට වෙන්න පොඩි කැලයක් තිබුණා. මේ කැලය අලි කොටි වගේ නපුරු සත්තුගෙන් ගහන ප්‍රදේශයක් උනා. ඒ වගේම හාවුන්, ගෝනුන්, මුවන් වැනි අහිංසකයින්ද අඩු නැතුවම හිටියා. හැබැයි මේ කැලේ රජෙක් කියලා සිංහයෙක්නම් හිටිය් නෑ. මේ වනේ මැද්දෙන් අර ඉස්සරලා කියපු ගඟ ගලන්නට වූයෙන් සතුන්ට වතුරෙන් නම් කිසි අඩුපාඩුවක් වුනේ නෑ. ඒ වගේම මේ කැලයේ තැනින් තැන පොඩි දිය කඩිති තිබුණා. ඒවා අර අහිංසක මුව පොව්වන්ට දරුණු කොටින්ගෙන් ආරක්ෂාවෙලා තමන්ගේ පිපාසය සංසිඳවාගන්න කදිම තෝතැන්නක් වෙලා තිබුණා. මේ දිය කඩිති අසල ලොකු පහේ කිඹුල් රාලලාත් අව්ව තපින්නා සේ දෑස් පියාගෙන සිටියේ ගොදුරක් දැහැගැනීමට නොවේමයි කියලා කියන්න බෑ. අවස්ථාව ආව ගමන් ඔවුන් ක්‍රියාත්මක වෙලා තමන්ගේ බඩ ගොස්තරය පුරවාගන්නා බවත් මේ හිටිය අහිංසකයින් දැනගෙන හිටියා. ඒ හින්දා හැමෝම පරිස්සමින් තමා ජීවත් වුනේ. පිඹුරා, නයා, පොළඟා වගේ බඩගාගෙන යන අයත් කීප දෙනෙක්මත් මේ කැලයේ එක් පැත්තක් අයිති කරගෙන හිටියා.

බිඟුලන්තය - දිය ඇල්ල

බිඟුලන්තය මැද්දේ තරමක ලොකු කඳු ගැටයක් තිබ්බා. මේකෙන් පුංචි දොල පාරක් පටන් අරගෙන හිමීට ගලාගෙන ගියා. මේ දිය උල්පත කවදාවත්ම සිඳුනේ නෑ. අවුරුද්ද මුලුල්ලේම වතුර ගලන්න තරම් මෙයාට හයිය හත්තිය තිබුණා. තද නියඟයක් ආව කාලෙකදී පවා මේ දිය උල්පත සිඳුනේ නෑ. පුංචිම පුංචි දිය සිරාවක් හරි ඒකෙන් මතුවෙලා ගලා යන්න තරම් වුනා. මේ දිය පහරට මගදී තවත් පොඩි දිය පහරවල් එකතු වෙලා තරමක ලොකු ගඟක් විදියට තමා මුහුදට එක වුනේ. මේ ගඟ අර කන්ඳෙන් පහලට වැටෙන එක තැනක පොඩි දිය ඇල්ලක් හදවමින් තිබුනා. මෙතන හරිම ලස්සන තැනක් වුනා. අඩි 30ක් විතර උසට වැටෙන මේ දි ඇල්ලෙන් ඒ ප්‍රදේශයටම පුදුම ලස්සනක් ගෙන දෙමින් තිබුණා. දිය ඇල්ලේ ගුමු ගුමුවයි පරිසරයේ විහඟ නදයි ඒ පැත්තම සුර විමනක් බවට කරන්න තරම් සමත් උනා.

කවුරුවත් ඒ ලස්සනට හානි කලේ නෑ.

බිඟුලන්තය - මුහුදු තීරය

ඔන්න එකෝමත් එක කාලෙක මහා සාගරය මැද තිබුණා දූපතක්. ඒකට හැමෝම කිව්වේ බිඟුලන්තය කියලා. වෙරළ වටේ සිප්පි කටු පිරිලා හරිම ලස්සනයි. අතරින් පතර කොරල් ගල මල් එහෙමත් තිබුණා. දූපතක් හින්දා වටේම මත්ස්‍ය සම්පතත් සපිරුණ එකක් වුනා. හැන්දෑවට ඉරගල වැටෙන ඇහිල්ලට හරිම ලස්සනයි. රන්වන් පාට හිරු කිරණ මුහුදත් අහසත් යා කරන මායිමේ වැටිලා කියන්න ආසාවේ බෑ. ඒ වගේමයි උදේට තියෙන මුහුදු රැල්ල. හරිම දිග රැළි සුදු පාටට වෙරළ සිපගෙන ආපසු යන හැටි පැය ගාණක් වුනත් බලාගෙන ඉන්න පුළුවන් තරම සුන්දරයි. කොරල් අස්සට අව්ව වැටිලා එක එක පටින් දිළිසෙනවා. එක මුහුදු තීරයක්ම මේ කොරල් වලටම වෙන් වුනු එකක් විදියටයි සැලකුනේ. මේ අස්සේ පාට පාට පුංචි මාලු එහාට මෙහාට පීනලා ගියේ හරිම විනෝදයෙන්. මේ පුංචි මාළුවොත් දැනගෙන හිටියා මේ තීරයේ ලස්සන.

කවුරුවත් ඒ ලස්සනට හානි කලේ නෑ.